HEART A TREE


නිසි අපද්‍රව්‍ය කළමණාකාරණය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. ජනගහනය වැඩිවත්ම භාවිතයට ගනු ලබන භාණ්ඩ ප්‍රමාණය වැඩි වේ. අනෙක් අතට තාක්ෂණය දියුණුවත්ම විවිධ මාදිලියේ භාණ්ඩ මිනිසා අතට පත්වනු දැකිය හැකිය. එහෙව් කල පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණයත් නිමක් නැත. එමෙන්ම පරිසරය තුළ එකතුවන අපද්‍රව්‍ය ද විවිධාකාරය. එහෙත් මිනිසාට වැඩිපුරම හානියක් කරන්නේ නොදිරන අපද්‍රව්‍යයයි. එසේ වුවත් දිරායන අපද්‍රව්‍ය වුව මහා පරිමාණයෙන් පරිසරයට එකතු වීම සුළුකොට තැකිය හැකි ගැටලුවක්ද නොවේ. මේ තත්ත්වයට අපට විසඳුමක් ඇත්තේම නැද්ද?  පරිසරයට එකතුවන කුණු කළමනාකරණය කරගන්නට කළ හැකි දෑ කිහිපයක් ගැන සටහනක් තබන්නට අප කල්පනා පාඨක ඔබේ අවධානයත් ඒ වෙත යොමු කර ගැනීම සඳහායි. 

ප්ලාස්ටික් භාවිතයට වාරණ 


අද වනවිට බොහෝ දේ සඳහා අපි ප්ලාස්ටික් භාවිතයට ගනිමින් සිටින්නෙමු. ප්ලාස්ටික් යනු අධික ස්කන්ධයක් සහිත කාබනික බහු අවයවක හැටියට හඳුන්වන්නට පුළුවන. මේ බහු අවයවක භාවිතය ඈත අතීතය දක්වාම විහිදී යන බව විද්‍යාඥයෝ පවසති. එසේ වුවත් ඒ අතීතයේදී මිනිසා භාවිතයට ගත්තේ ජෛව ව්‍යුත්පන්න සහිත බහු අවයවක බව දැක්වේ. ලෝකය කාර්යබහුල තැනක් බවට පත් වනවිට කෘත්‍රිමව නිෂ්පාදනය කරගත් බහු අවයවක භාවිතය වැඩි වන්නට පටන් ගත්තේය. මේ තත්ත්වය වඩාත් හොඳින්ම දැකිය හැකි වන්නේ කාර්මික විප්ලවයත් සමඟයි. කාර්මික විප්ලවයත් සමඟ - එනම් එක්දහස් අටසිය ගණන්වලදී, කාර්මික රසායනික විද්‍යාව දියුණු විය. එතැන් පටන් පුදුමාකාර වේගයකින් ප්ලාස්ටික් පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, ප්ලාස්ටික් නිෂ්පාදනය සහ ප්ලාස්ටික් භාවිතය සමාජය තුළ ප්‍රචලිත විණ. අද වනවිට බ්‍රිතාන්‍යය තුළ පමණක් වසරකට ටොන් මිලියන 5ක පමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් භාවිතයට ගැනෙන බව පැවසුවහොත් සමහරවිට ඔබ විශ්වාස නොකරනු ඇත. ප්ලාස්ටික් විවිධ ස්වරූපවලින් භාවිතයට ගැනේ. බෝතල්, බෝතල් මූඩි, භාජන ආදියට මෙන්ම ප්ලාස්ටික් බෑග්, බත් ඔතන කොළ ආදිය වශයෙනුත් එය භාවිතයට ගන්නා බව රහසක් නොවේ. මෙසේ භාවිතයට ගැනෙන ප්ලාස්ටික්වලින් විශාල ප්‍රමාණයක් නොදිරන සුලුය. එනිසා ඒවා පරිසරය තුළ එකතුවීම නොවැළැක්විය හැකිය. අප කළ යුත්තේ එක්කෝ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයයි. නැත්නම් දිරනසුලු ප්ලාස්ටික් භාවිතයට ගැනීමයි. ඒ හැරුණු විට නොදිරන ප්ලාස්ටික් පරිසරයට එකතුවීම වැළැක්වීමට අවශ්‍ය නීති රීතිත් සම්පාදනය විය යුතුව තිබේ. මිනිස් චර්යාවන් නීති රීතිවලට පාලනය කළ හැකිද යන්න අනෙක් ගැටලුවයි. එනිසා ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් ඉතා විධිමත්ව රැගෙන යෑමද අනිවාර්ය අංගයකි. 

කඩදාසිවලින් ඩිජිටල්වලට 


කුණු වශයෙන් එකතුවන තවත් ප්‍රධානම දෙයක් වන්නේ කඩදාසිය. ඉවක් බවක් නැතිව කඩදාසි භාවිතයට ගැනීම ගැන සමාජය තුළ එතරම් කතා කිරීමක් සිදුවන්නේද නැත. එසේ වුවත් 2015 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ එවකට ජනාධිපතිවරයාව සිටි බරක් ඔබාමා ඒ ගැන ඉතා තදින් කතා කළේය. ඔහු එහිදී කියා සිටියේ ඉතා ඉක්මනින් තම රට මුළුමනින්ම ඩිජිටල් පද්ධතියකට යා යුතු බවකි. ඒ සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වයන් සකසන්නට බැරක් ඔබාමා අනුමැතිය පවා ලබා දුන්නේය. කඩදාසි භාවිතයෙන් තොරව ඩිජිටල් තත්ත්වයේ ලියකියවිලි භාවිතයට ගැනීම කාලය, මුදල් මෙන්ම අවකාශයද පිරිමසා දෙන්නකි. පසුගිය වසර 40ක කාලය තුළ ලෝකය පුරා කඩදාසි භාවිතය 400%කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවලින් අනාවරණය වේ. ඒ අනුව කුණු කඳු මතට කඩදාසි එකතුවීම 40%කින් පමණ අමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් වැඩි වී ඇත. ප්‍රමාණාත්මකව දැක්වුවහොත් අමෙරිකාව තුළ කුණු ගොඩවලට අද වනවිට එකතුවන කඩදාසි ප්‍රමාණය වාර්ෂිකව ටොන් මිලියන 71.6කි. මේ සංඛ්‍යා ලේඛන අනුව වසරකට ලෝකය පුරා කුණු ගොඩවලට එකතුවන කඩදාසි ප්‍රමාණය කොතෙක්දැයි අනුමාන කිරීම අපහසු නැත. ඩිජිටල් පද්ධතිවලට හුරුවීම කාලීන සමාජ අවශ්‍යතාවක් බව අප පසක් කර ගතයුතුව ඇත.

No comments:

Post a Comment

    HEART A TREE The end of the project " Heart a tree"   Heart a tree project organized by the Sustainable Development and Intern...