HEART A TREE
නිසි අපද්‍රව්‍ය කළමණාකාරණය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. ජනගහනය වැඩිවත්ම භාවිතයට ගනු ලබන භාණ්ඩ ප්‍රමාණය වැඩි වේ. අනෙක් අතට තාක්ෂණය දියුණුවත්ම විවිධ මාදිලියේ භාණ්ඩ මිනිසා අතට පත්වනු දැකිය හැකිය. එහෙව් කල පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණයත් නිමක් නැත. එමෙන්ම පරිසරය තුළ එකතුවන අපද්‍රව්‍ය ද විවිධාකාරය. එහෙත් මිනිසාට වැඩිපුරම හානියක් කරන්නේ නොදිරන අපද්‍රව්‍යයයි. එසේ වුවත් දිරායන අපද්‍රව්‍ය වුව මහා පරිමාණයෙන් පරිසරයට එකතු වීම සුළුකොට තැකිය හැකි ගැටලුවක්ද නොවේ. මේ තත්ත්වයට අපට විසඳුමක් ඇත්තේම නැද්ද? පරිසරයට එකතුවන කුණු කළමනාකරණය කරගන්නට කළ හැකි දෑ කිහිපයක් ගැන සටහනක් තබන්නට අප කල්පනා පාඨක ඔබේ අවධානයත් ඒ වෙත යොමු කර ගැනීම සඳහායි.
සිගරැට් කොට පරිසරයට එකතුවීම අවම කිරීම.
මහමඟ ගමන් ගන්නා විට සිගරැට් කොට වැටි තිබෙනු අප ඕනෑ තරම් දැක ඇත. අමෙරිකා එක්සත් ජනපදනය වැනි ඇතැම් රටවල මහමඟ ඇති අපද්‍රව්‍යවලින් 38%ක ප්‍රමාණයක ඇත්තේ සිගරැට් කොට සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන බව සනාථව තිබේ. ඕනෑම රටක වෙරළ තීර, උද්‍යාන වැනි සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල පරිසරය තුළ සිගරැට් කොට බහුලව දකින්නට පුළුවන. සිගරැට් කොට දිරා යන්නේ නැත. මෙනිසා ඒවා පරිසරය තුළ දීර්ඝ කාලයක් පවතී. එහි ඇති වඩාත් බරපතළම තත්ත්වය, සිගරැට් කොට තුළ තිබෙන දුම්කොළ නිසා ඒ ආශ්‍රිත විෂ ද්‍රව්‍යද පරිසරයෙහි දීර්ඝ කාලයක් තිබීමය. එබැවින් සිගරැට් කොට ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යව ඇත. අමෙරිකා එක්සත් ජනපදනය, ඕස්ට්‍රේලියාව වැනි රටවල එවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවත් සංවර්ධනය වෙමින් පවතින රටවල තවමත් එවැනි වැඩපිළිවෙළක් සාර්ථකව සහ තිරසාරව ක්‍රියාත්මක වනු දැකිය නොහැකිය.
කොම්පෝස්ට් භාවිතය
2012 වසරේදී ලෝක සංවිධානයක් නිකුත් කළ වාර්තාවලින් දැක්වෙන්නේ ඒ වසරේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලීන් තුළින් එකතු වුණු ටොන් මිලියන 26කට අධික අපද්‍රව්‍යවලින් 5%ක් පමණක් ඉඩම් ගොඩකිරීම වැනි කර්තව්‍යයන්ට නුසුදුසු බවකි. ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නිසා ඇතිවන අපද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් කොම්පෝස්ට් බවට පත් කළ හැකි බවත් වාර්තාවන්හි සඳහන් වේ. මේ තත්ත්වය වඩාත් හොඳින් පෙනී යන්නේ අපේ මුළුතැන්ගෙවලින් එදිනෙදා එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය දෙස බැලීමේදීය. ඒ අපද්‍රව්‍ය අතර වැඩිපුරම තිබෙන්නේ පහසුවෙන් දිරා පත්වන දේවල් නොවේද? ඒවා ඇසුරු කරගෙන පොහොර නිෂ්පාදනය කර ඒ පොහොර භාවිතයට හුරුවුව හොත් අතන - මෙතන දමා යන කුණු ප්‍රමාණය කෙතරම් අඩු වනු ඇතිද?

No comments:
Post a Comment